බෞද්ධ දර්ශනයට එකතුවූ කාලීන මතාන්තර

මිරිස්‌සේ ඉන්දරතන නාහිමි

ගුරුවරයෙකි, විහාරාධිපතීන් වහන්සේනමකි. පරිවේනාධිපතීන් වහන්සේ නමකි. ග්‍රන්ථ කතුවරයෙකි. සංස්‌කාරකවරයෙකි. පුවත්පත්,සඟරා ලිපි රචකයෙකි. විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් රචනා කරන ලද මෙම මාහැඟි ලිපිය වර්ෂ 1972 වෙසක්‌ මස රසවාහිනි සඟරාවෙහි පළවිය.

බෞද්ධ දර්ශනය පුළුල්ය. ගැඹුරුය. සාරවත්ය. විශාලය. එබඳු උදාරතර ශ්‍රේෂ්ඨ දර්ශනයක අන්තර්ගත කරුණු විමසීම ඉතා උගහටය. බෞද්ධ එමෙන්ම ප්‍රාග් බෞද්ධ අදහස්‌ වෙන් කොට ගැනීම අසීරුය. භාරතීය චින්තන පරපුර විශාල වීමත් එබඳු චින්තනයන්හි සංකලනයත් ඊට හේතු වශයෙන් පවත්නේය. බෞද්ධ දර්ශනයට එක එල්ලේ බලපෑ දර්ශනවාද කීපයකි. වේද සංහිතා, බ්‍රාහ්මණ ග්‍රන්ථ ආරණ්‍යක ග්‍රන්ථ හා උපනිෂද් ග්‍රන්ථ යන මේ සතර ප්‍රධානය. උපනිෂද් දර්ශනයට පසුව ඇතිවූ ෂට්‌ දර්ශනයත් ජෛන හා හින්දු දර්ශනයනුත් යන මේ හැම දර්ශනයක්‌ම බුදුදහම කෙරෙහි බලපාන අයුරු ත්‍රිපිටක සාහිත්‍යය පරීක්‌ෂාකාරීව විමසා බලන්නකුට මනාව වැටහේ. මෙහිලා සංහිතා නමින් හැඳින්වූයේ සෘග්, යජුර්, සාම යන වේදත්‍රයයි. ත්‍රිපිටකයේ ත්‍රිවේධ නාමයෙන් සලකනුයේ මේ තුනය.

'තිණ්‌ණං වේදනං පාරගු' යන වචනය දේශනා පාලියෙහි ඉතා ප්‍රකටය. වෛදික යුගයෙහි පැවැති බ්‍රාහ්මණයන්ගේ යාගය ක්‍රමයෙන් පිරිහී යත්ම ක්‌ෂත්‍රියයන් අතින් ඇරැඹී ගිය දාර්ශනික සිතුවිලි පරපුර ක්‍රමයෙන් දියුණු වන්නට විය. සෘග් වේදයේ දහවැනි මණ්‌ඩලය මේ චින්තන විපර්යාසයේ නව මුහුණුවර පෙන්වා දෙයි. බමුණන්ගේ යාගයට තදින් පහරදුන් ක්‌ෂත්‍රියයෝ බුද්ධිය දියුණු කොට මෝක්‌ෂය ලැබීමේ ඥන මාර්ගය හෙළි කළහ. සමාජයේ ඉස්‌මතුව සිටි බමුණන් පහතට වැටුනු බව පෙනී ගිය ඔවුහු ක්‌ෂත්‍රියයන් දියුණු කළ දාර්ශනික සම්ප්‍රදායය තමන් අතට ගත්හ. එබැවින් උපනිෂද්වල පෝෂණය ක්‌ෂත්‍රිය බ්‍රාහ්මණ දෙපිරිස අතින්ම සිදු වී යෑයි කීම නිවැරැදිය. සංහිතා සහ බ්‍රාහ්මණ ග්‍රන්ථවල නොපැනෙන සංසාරය, කර්මය, ආත්මය, බ්‍රහ්මන් වැනි ගැඹුරු අදහස්‌ උපනිෂද්වල පෙනෙනුයේ මේ බුද්ධි විප්ලවය නිසාමය. සංහිතා කාලවල බමුණන්ට ලැබුණු තැන උපනිෂද් කාලයේ ක්‌ෂත්‍රියයන්ට ලැබිණි. උද්දාලක ආරුණි ආචාර්යවරයා බමුණන් පස්‌ දෙනකුන් සමග වෛශ්වානර අග්නිය ගැන ඉගනීමට අශ්වපති කේකය රජු වෙත ගිය බව ඡාන්දොaග්‍ය උපනිෂදයේ පෙනේ. බ්‍රාහ්මණ ආධිපත්‍යය බිඳ වැටීමත් සමග ක්‌ෂත්‍රියයන් මෙන්ම සෙසු කුලවල අයද උපනිෂද් ධර්මය අවබෝධ කළහ. චින්තන නිදහසේ ප්‍රතිඵල ලැබුණේ පුරුෂ පක්‌ෂයට පමණක්‌ නොවේ. ස්‌ත්‍රීහු පවා උපනිෂද් ධර්ම අවබෝධ කොට විසූහ.

වවක්‌හුගේ දියණියන් වූ භාර්ග්‍යා භවයේ මුල ගැන යාඥ මල්ක්‍ය මුනිහට අභියෝග කළාය. පසු කලෙක බුදු සමයෙන් තදින් පහර වැදුණු බමුණන්ට උපනිෂද් මුනිවරයන් අතින්ද දරුණු පහර ලැබිණි. දාසියකගේ පුත්‍ර වූ සත්‍යකාම ගෞතම සෘෂි වෙත ගිය විට තම පියා කවරකේදැයි ඇසීය. එය නොදන්නා බව අවංකව කීම නිසා ඔහු බ්‍රාහ්මණයකු ලෙස සැලකීය. සත්‍යවාදියා බමුණෙක'යි ඔහු කීය. 'න ඡච්චාහෝති බ්‍රාහ්මණෝ' යන්න උපනිෂද් යුගයේ ද පැවැති බව මෙයින් පෙනේ. බමුණෝ තමන් උසස්‌ යෑයිද බ්‍රහ්මයාගේ මුවින් උපන්නේ යෑයිද සෙස්‌සෝ පහත් යෑයිද කියති. ඒ අදහස ත්‍රිපිටකයේ නොයෙක්‌ තැන තිබේ. මීට බුදුරදුන් දුන් පිළිතුරු තෙවිඡ්ජ,සෝණදණ්‌ඩ, කූඨදත්ත වැනි සූත්‍රවල දැක්‌ක හැකිය. බ්‍රහ්ම සහව්‍යතාව ගැන බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කළ වාගිෂ්ට භාරද්වාජ බමුණන්ට බ්‍රාහ්මණ කාරක සුචරිත ධර්ම මේ මේ යෑයි උන්වහන්සේ වදාළහ. මේ සූත්‍රයේ නම් ඇති අඹරිය, කිත්කිරිය, ඡන්දොaග බහවාරිඡCධා බමුණෝ උපනිෂද් හා බ්‍රාහ්මණවල කර්තෘවරු වෙති. සෘග් වේදයේ පෙනෙන ඉන්ද්‍ර, වරුණ, ප්‍රජාපතී ආදී දෙවියන් පිදීම ඉන් දමව්හයාම, සොමමව්හයාම, වරුණ මව්හයාම යන වචනවලින් පෙනේ. සංහිතා බ්‍රාහ්මණ උපනිෂද් කාලත්‍රයේම ක්‍රියා මාර්ග දර්ශනයක්‌ මෙම තෙවිඡ්ජ සූත්‍රයෙන් පෙනේ.

යාගයෙන් බ්‍රහ්ම සහව්‍යතාවට පැමිණිය හැකිය යන්න බ්‍රාහ්මණ ධර්මයයි. එහෙත් බ්‍රහ්ම ඥනය අන්තර් ඥනයෙන්ම ලැබිය යුතුය. බ්‍රහ්ම අවබෝධ කළේ හොඳ-නරක සියලු ක්‍රියාවන්ම අත්හරී යන උපනිෂද් ධර්මයයි. 'සබ්බේ ධම්මා පහාතබ්බා පහෙව අධම්මා' යනු බුද්ධ වචනයයි. යාග මාර්ගයෙන් දෙවියන් සතුටු කොට ජීවිතය සැපවත් කරගැනීම බ්‍රාහ්මණ ධර්මයයි. බ්‍රාහ්මණ යුගයේදී ද්‍රව්‍යයෙන් සැබවින්ම කළ යාගය ආරණ්‍යයක යුගයේදී ප්‍රතීක මගින් ඉදිරිපත් කරයි. එහෙත් උපනිෂද් යුගයේදී විමුක්‌තිය උදෙසා යාගය අවශ්‍ය නැතැයි ප්‍රතික්‌ෂේප කරයි. යාගයේ යෙදෙන මූඪයෝ යළි යළිත් ජරා මරණයට පැමිණෙති. එය අන්ධයන් රැළකට අන්ධයන් රැළක්‌ මග පෙන්වීම වැනිය යන අදහස්‌ මුණ්‌ඩක උපනිෂදය කියයි. ඡංදොaග්‍ය උපනිෂදයේ එන සුනඛ උද්ගීතය බමුණන් දරුණු උපහාසයට ලක්‌ කරයි. යාග ක්‍රියාව උදෙසා බ්‍රාහ්මණයන්ට පහර වැදුණේ බුදුසමයෙන් පමණක්‌ නොවන බව මින් පැහැදිලි වේ.

සංසාරය පිsළිබඳ මතයද සංහිතාවල හා බ්‍රාහ්මණ වලද එයි. තමන්ගේ ක්‍රියාවලට අනුව මිනිසා පරලොව දුක්‌ සැප දෙක තනාගනී යන්න ශතපථ බ්‍රාහ්මණයේ එයි. ඓතරෙය බ්‍රාහ්මණයට අනුව ජීවිතයෙන් පසු මරණයත්, මරණයෙන් පසු ජීවිතයත් යන කෙළවරක්‌ නැති සැරිසැරීමක්‌ ගැන අදහසක්‌ හැඟෙතියි ආචාර්ය රාධ ක්‍රිෂ්ණන් කියයි. සෘග්වේද යුගයේද කර්මය පිළිබඳ අදහස්‌ ප්‍රචලිත වූ බව පෙනේ.

'ඔබගේ පවට හෝ පිනට අනුව දෙව්ලොව හෝ පෘථිවියට යනු නැතහොත් ජලයට යනු තැනහොත් පැළෑටිවලට යනු මේ වනාහි සෘග්වේදයේ දහවැනි මණ්‌ඩලයේ 16 වැනි සුත්තයේ එන්නකි. බුදුරදුන් සංසාරය පිsළිබඳ ඉගැන්වූයේ මෙසේය

බන්ධානං පටිපාටි

ධාතු ආයතනානිච

අබ්බොච්äන්නං වත්තමානං

සංසාරෝති පවුච්චති'

සසර නම් නොනැසී පවත්නා ස්‌කන්ධ පඤ්චකය බව මෙයින් වැටහෙයි. භවයෙන් භවයට යන සදාකාලික ආත්මයක්‌ ගැන මෙහි නොකියෑවෙයි. උපනිෂද්හි ඇති සසරින් මිදීම නම් බ්‍රහ්ම ඥනයෙන් බ්‍රහ්ම පදාර්ථය හා එක්‌වීමයි.

තවද භාරතීය බුද්ධි විප්ලවයේ උත්කර්ෂවත් අවස්‌ථාවක ජීවත්ව සිටි ෂට්‌ ශාස්‌තෘ කෙනෙක්‌ ගැන දීඝනිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයේ සඳහන් වෙයි. අජිතකේශකම්බල, මක්‌ඛලිගෝසාල, පූර්ණ කාශ්‍යප, පකූධ කාත්‍යායන, සඤ්ජය බෙල්ලට්‌ඨිපුත්ත, නිගණ්‌ඨනාථපුත්ත යන මේ දෘෂ්ටියම ඇත්තෙකි. කම්බල භෞතිකවාදිSය. මක්‌ඛලීගෝසාල අකිරියවාදීය. පූර්ණකාශ්‍යප අකිරියනිත්‍යතා වාදීය, පකූධකාත්‍යායනද මේ දෘෂ්ටියටම ඇත්තෙකි. සංජය බෙල්ලට්‌ඨිපුත්ත, නිගණ්‌ඨනාථපුත්ත දෙදෙන ස්‍යද්වාදීය.මින් අජිත කේශකම්බල භෞතිකවාදීය. මක්‌ඛලීගෝසාල අකිරියවාදීය. පූරණ කාශ්‍යප අකිරිය නිත්‍යතාවාදීය. පකුධ කාත්‍යායන ද මේ දෘෂ්ටියම ඇත්තෙකි. මින් සවැනි වූ නිගන්ඨනාථපුත්ත නම් ජෛන ශාස්‌තෘ වර්ධමාන මහාවීර තෙමේය. හේ සූවිසිsවැනි ජෛන ශාස්‌තෘය. බුද්ධ කාලයේ ඉතා විශාල පිරිසක්‌ ඇතිව සිටි ඔහු හා කළ වාද ත්‍රිපිටක සාහිත්‍යයෙහි නොයෙක්‌ තැන පෙනේ. බුදුරදුන් දෙසූ ඇතැම් සූත්‍රවල නිගණ්‌ඨනාථපුත්ත ශ්‍රේෂ්ඨ උතුමෙකු ලෙස පෙන්වාදී ඇත.

'නිගණ්‌ඨෝ භික්‌ඛවේ නාථ පුත්තෝ සබ්බඤ්ඤ සබ්බදස්‌සාවි' යනාදී පිළිවෙළට බුදුරදුන් විසින් වර්ණනා කොට ඇත. එහෙත් ඇතැම් තැනෙක බලවත් අවඥවට ද ලක්‌ කොට ඇති බව පෙනේ. මොහුගේ මරණය සඳහන් කරනුයේද ලේ වමනය කොට පපුව පැලී මළ කෙනකු ලෙසිනි. බුදු සමයට සමකාලීන වූ ජෛන දර්ශනය එකල භාරතයේ කොතරම් දුරට බලපෑයේද යන්න ත්‍රිපිටකයෙන් සෙවිය හැකිය. බුදුරදුන් ඇතැම් තැන විනය නීති පැනවීමේදී පවා මේ බාහිර දර්ශනවලට ගරුකළ බව පෙනේ. විනය මහවග වස්‌සාවාසිකක්‌ඛන්ධකය කියවන විට ජෛනයන්ගේ ජීවවාදයට ගරු කොට වස්‌ වැසීම් ශික්‌ෂාපදය පැනවූ බව සිතාගත හැකිය.

ජීවය හා ආත්මය පිළිබඳ මත කීපයක්‌ හැර නිගණ්‌ඨනාථපුත්තගේ දර්ශනය ඉතා ස්‌වල්පයකි. මුලදී ආගමික සම්ප්‍රදායක්‌ වූ ජෛන ධර්මය පසුව ස්‌වතන්ත්‍ර දර්ශනයක්‌ බවට පත් විය.

බුද්ධ ධර්මය කෙරෙහි බහුල වශයෙන් සංඛ්‍යා ක්‍රමයේ බලපෑමක්‌ ඇතිවී යෑයි ජොකෝබ් පඬිවරයා සඳහන් කරයි. ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය පැරැණි සංඛ්‍යා ක්‍රමයෙහි දැක්‌වෙන එවැනි සන්තති සිද්ධාන්තයකින් උපුටා ගන්නා ලද්දක්‌ යෑයි හෙතෙම කියයි. එහෙත් මේ මතය බැහැර කිරීමට පුළුවන් හේතු රාශියක්‌ බුදුදහමෙහි දක්‌නට ඇත. සංඛ්‍යා දර්ශනයේ ඉතා මූලික නියාමයන් වූ ප්‍රකෘති ගුණ බුද්ධ ධර්මයෙහි කිසි තැනෙකද දක්‌නට නොලැබෙයි.

එබැවින් මේ සාංඛ්‍ය ක්‍රමය බෞද්ධයන්ගේ පටිච්චසමුප්පාද ධර්මය විස්‌තර කළ තැනැත්තාට උපදෙස්‌ දුන් බවට කිසිදු සාධකයක්‌ ලබාගත නොහැකිය. බුදුසමය හා සාංඛ්‍ය දර්ශනය අතර සම්බන්ධය දැක්‌වීමට තවත් ගැටලුවක්‌ යෝග දර්ශනය නිසා පැනනඟී. යෝග දර්ශනය ක්‍රමයට අයත් අදහස්‌වලින් වැඩි කොටසක්‌ සංඛ්‍යා ක්‍රමයට සමානය. දෙවියන් පිළිබඳ අදහස ඇතුළු කිරීමෙන් සහ යෝගභ්‍යාසයන්ට එහිලා මුල් තැනක්‌ දීමෙන් පමණක්‌ සාංඛ්‍ය දර්ශනයට වෙනස්‌ වේ. බුදුදහම සාංඛ්‍ය අදහස්‌ පිළිගත්තේ යෝග දර්ශනය මගිනි. ථෙරවාදීන් සාංඛ්‍ය දර්ශනය හැඳින්වූයේ පකතිවාදය නමිනි. මේ පකතිවාදීන් හෙවත් සංඛ්‍යාවාදීන් ගැන බුද්ධ ඝෝෂ අටුවාචාරීන් විසින් විශුද්ධි මාර්ගයේ බොහෝ විට සඳහන් කර තිබේ. විශුද්ධිමග්ග පඤ්ඤාභූමි, නිද්දේසයේ මෙසේ සඳහන් වෙයි. 'කිපන පකති වාදීසු' ප්‍රකෘතිවාදී අදහස්‌ මෙයින් බැහැර කරන බව පෙනෙ.a

යෝග දර්ශනය බුදුදහම ප්‍රතික්‌ෂේප නොකළ බවට සාධක ඉදිරිපත් කළ හැකිය. බුදුවරුන්ට පෙර බෝසතුන් යෝගාභ්‍යාසය ලබා ඇත. විනය මහවග බුද්ධ චරිතය දක්‌වන තන්හි ආලාර කාලාම, උද්දකරාම දෙදෙනා ළඟට බෝධිසත්වයන් ගිය බව සඳහන් වේ. ආලාරකාdම ආකිඤ්චඤ්ඤා යතනලාභියෙකි. උද්දකරාම නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියෙකි. මේ තවුසන් දෙදෙනා අතහැර ගියේ බුදුරදුන්ට මේ දෙදෙනාගේ ඉගැන්වීම් ප්‍රමාණවත් නොවූ හෙයිනි. ආදිකාලීන බුදුසමයේ වැදගත් කොටසක්‌ පිළියෙළ වී තිබුණේ යෝගාභ්‍යාසයන්ගෙන් යෑයි ඇතැම්හු විශ්වාස කරති. යෝගාභාස්‍ය ක්‍රමය බුදුසමයට පෙර ඇතිවූ බවත් එසේ ඇතිවූ යම්කිසි යෝග ක්‍රමයකින් බුදුසමය ඇතැම් කරුණු උපුටාගත් බවත් දැනට පිළිගත හැකිය. බුදු දහමෙහි පෙනෙන සතර බ්‍රහ්ම විහාර පිළිබඳ කාරණය මෙයට නිදසුන් ලෙස පෙනේ. බුදුදහමේ පසු කලෙක දැක්‌වෙන සතර බ්‍රහ්ම විහාර ක්‍රමය කෙලින්ම යෝග ක්‍රමයෙන් උපුටාගෙන ඇතැයි සිතීමට ඉඩ තිබේ. මෙසේ බලන විට බෞද්ධ ක්‍රමයේත් යෝග ක්‍රමයේත් සම්බන්ධය පෙනෙන මුත් කොයි කොයි කොටස්‌ උපුටා ගත්තේ ද යන්න තීරණය කිරීම අපහසු බව පිළිගත යුතුය. මෙසේ බුදුදහම විමසුම් ඇසින් බලන විට පෙනී යන්නේ බුදුසමය කෙරෙහි ප්‍රාග් බෞද්ධ අදහස්‌ ඇති බවයි.

Penulis : niwana ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel බෞද්ධ දර්ශනයට එකතුවූ කාලීන මතාන්තර ini dipublish oleh niwana pada hari Sunday, March 16, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan බෞද්ධ දර්ශනයට එකතුවූ කාලීන මතාන්තර
 

0 comments:

Post a Comment