නිවන අවබෝධයට කැමති වෙමු


මේ ධර්මය අපි පුරුදුකර ගන්නෙ කොහොමද කියන එක මේ කොයි කාටත් තියෙන ගැටලුවක්. තමන්ගේ ගෙදර ෙÞරේ කටයුතු කරමින්, එහෙම නැත්නම් රැකි රක්ෂා ආදී කටයුතු කරමින් ධර්මය පුරුදු කරන්ට බැරි වෙයිද කියන බයක් සමහර අයට තියෙනවා.
"අපිට කාලයක් නැති වෙයිද? අපි ප්‍රමාද වෙලාවත් ද?" මේ විදිහට හිතෙන් කනගාටුව උපදවා ගන්න අයත් ඉන්නව. අපිට කනගාටු වෙන්ට දෙයක් නැහැ. අපිට දැන් ධර්මය මුණගැහිච්ච වෙලාවෙදි ධර්මයේ තියෙන ආකාරයට පුරුදු කරන්ට උත්සාහ කරන්ට ඕනැ. ඒ විදිහට ධර්මය පුරුදු කළොත් ඒකාන්තයෙන් ම ධර්ම මාර්ගයට එන්ට පුළුවන්, නිවන් මගට එන්ට පුළුවන්.
අපි ධර්මය පුරුදු කිරීමේදී, කුමක් පිණිසද මේ ධර්මය පුරුදු කරන්නෙ කියන දේ හොඳට දැනගන්ට ඕනැ. අපි හොඳින් ම තේරුම් ගත යුතුයි, භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මය කියා දෙන්නේ නිවන අවබෝධ කිරීම පිණිස ම යි.
දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණගැහෙන්ට එක්තරා කෙනෙක් ඇවිල්ල අසා සිටියා, "පින්වත් සාරිපුත්තයන් වහන්ස, මේ 'නිවන නිවන" කියල කියනව මොකක්ද ඒ?" කියල.
ඊට පස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනව, "රාගය ක්‍ෂය වීමක් ඇත්ද, ද්වේෂය ක්‍ෂය වීමක් ඇත්ද, මෝහය ක්‍ෂය වීමක් ඇත්ද, ඒක තමයි නිවන" කියන්නෙ කියල. ඒ කියන්නෙ යම් තැනක රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය වෙලා යනව නම්, සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනව නම්, ආයෙ නැවත හටගැනීමක් නැත්නම් එතන නිවන යි.
එතකොට නිවන අවබෝධ කරගන්ට නම් අපි කුමක්ද කළ යුත්තේ? රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය කරගැනීමට කටයුතු කරනට ඕනැ. රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය වන වැඩපිළිවෙළ අනුගමනය කළොත් යම් කලකදී රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය වෙලා ඒ උතුම් නිවන අවබෝධ කරන්ට අපිට පුළුවන්.
එතකොට අපි රාග, ද්වේෂ, මෝහ වැඩෙන, වර්ධනය වන වැඩපිළිවක් අනුගමනය කළොත්, නිවන් මඟ පෑදෙන්නෙ නෑ. නිවනට පැමිණෙන්ට බෑ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දුන්නේ සියලු දුකින් නිදහස් වීම පිණිස ඇති ධර්මයක්. සියලු දුකින් නිදහස් වෙන්නෙ නිවන අවබෝධ කිරීමෙන්. නිවන කියල කියන්නෙ රාග, ද්වේෂ, මෝහ නිරුද්ධ වීමට.
එහෙම නම් අපි රාග, ද්වේෂ, මෝහ නිරුද්ධ වන වැඩපිළිවෙළයි අනුගමනය කරන්ට ඕනැ. පුරුදුකරන්ට ඕනැ. එතකොට ඒ වැඩපිළිවෙළ අනුගමනය කරන්නෙ අපි මේ එදිනෙදා ජීවිතය ගත කරද්දීමයි. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලෙදි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වුණේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස යි.
එතකොට භික්ෂු භික්ෂුණී විතරක් නෙවෙයි උපාසක උපාසිකාවොත් ඉන්නවා. උපාසක උපාසිකා පිරිස තමයි පිරිසක් වශයෙන් විශාල. එතකොට ඒ අය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකත්වය උපදවා ගත්තා. කොටි ගණන් පිරිස් උපාසක උපාසිකාවන් විදිහට ධර්මය අවබෝධ කළා. නමුත් කාම භෝගී ජීවිතයක් ගත කරමින් සිටිය නිසා ඒ අයට ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට ගතවෙන කාලය වැඩි වෙන්ට පුළුවන්. කාම භෝගී ජීවිතය අතහැරල භික්ෂු භික්ෂුණී බවට පත්වෙලා ධර්ම මාර්ගයට පැමිණි පිරිස වේගයෙන් නිවන අවබෝධ කළා.
නමුත් කාම භෝගී ජීවතයක් ගත කරමින් දරු මල්ලන්ගේ සම්බාධක මැද ජීවත්වුණ උපාසක උපාසිකාවන් හට, භික්ෂූන් වහන්සේලාට වඩා හෙමින් තමයි ඒ ධර්ම මාර්ගය පුරුදු කරන්ට පුළුවන් වුණේ. නමුත් ඒ අය නිවන අවබෝධ කරනවද නැද්ද? නිවන අවබෝධ කරනවා. මොකද යම් කෙනෙක් නිවන් මඟට පැමිණුනොත්, සෝතාපන්න තත්වයට පත්වුණොත්, සම්මා දිට්ඨිය ඇතිකර ගත්තොත් එයා ඒ නිවන් ම‍ඟෙන් බැහැර වෙන්නෙ නෑ. ඒ නිවන් ම‍ෙඟ් පිරිහීමකට පත්වෙන්නෙ නෑ. එයා නිවන් ම‍ෙඟ් ගමන් කරනවා ම යි.
එයාට ප්‍රමාදයක් ඇතිවෙන්ට පුළුවන්, නමුත් ඒ ප්‍රමාදය නිවන් ම‍ෙඟන් බැහැර කරන තරමේ භයානක ප්‍රමාදයක් නෙවෙයි. ඉතින් ඒකෙන් අදහස් වෙන්නෙ ප්‍රමාද වෙන්ට කියන එක නෙවෙයි. නමුත් නිවන් මඟට පැමිණීම අපේ ජීවිතයට විශාල ආරක්ෂාවක් ඇතිකරල දෙනව. ඒ නිසා මේ අය තමන්ගේ කටයුතු බහුලයි කියල, වගකීම් බහුලයි කියල, කාල වේලාව නෑ කියල කල්පනා කළොත්, නිවන් මඟට පැමිණෙන්ට තියෙන ඉඩකඩ හිතා මතා ම අහුරගන්ව.
ඒනිසා දැන් අපිට කොයි තරම් වැඩ රාජකාරි තිබුණත්, අපේ ජීවිතේ පිළිසරණ උපදවා ගැනීම අපි විසින් කළ යුතුමයි. ඒක හොඳට මතක තියා ගන්න. මතක තියා ගෙන නිවන අවබෝධ කිරීමේ බලවත් කැමැත්තක් උපදවා ගන්න. නිවන අවබෝධ කිරීමකින් තොරව මෙලොව අපිට ලබන්ට තියෙන සැප ඉතාම ළාමකයි.
නිවන අවබෝධ කිරීමෙන් මෙහා අපිට අගය කරන්ට පුළුවන් සැපක් ලබන්ට බෑ. නිවන අවබෝධ කිරීමෙන්මයි සියලු දුකින් නිදහස් වීම තියෙන්නේ කියන ඒ කරුණ හොඳට මතක තියාගෙන නිවන අවබෝධ කිරීම පිණිස බලවත් කැමැත්තක් ඇතිකර ගන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Penulis : niwana ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel නිවන අවබෝධයට කැමති වෙමු ini dipublish oleh niwana pada hari Sunday, March 16, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan නිවන අවබෝධයට කැමති වෙමු
 

0 comments:

Post a Comment